ඔබේ මංගල දිනයට පැමිණෙන ආරාධිත අමුත්තන්ට මෙන්න මේ දේවල් දීලා බලන්න…

Spread the love

ඇත්තටම කිව්වොත් අපි වෙඩිමකට යන්නේ හෙඳට කාලා බීලා විනෝද වෙලා එන්නනේ. කෑම කන්න යනකොටම හැමෝම බලන්නේ වෙඩින් කේක් තියේද කියලා. පුළුවන් නම් එකක් වෙනුවට දෙක තුනක් හරි කමක් නැහැ ගන්න බලනවා. ඇත්තටම එහෙම කරත් වෙඩින් කේක් කන්නේ කීයෙන් කී දෙනාද? සමහරු ඒ රහට ආසා නැති නිසා කන්නේ අර උඩින් තියන සුදු පාට අයිසින් තට්ටුව විතරයි. ඉතින් එහෙම නම් කේක් කෑල්ලක් අමුතුවෙන් වියදම් කරගෙන එකතු කරන්න අවශ්‍යතාවයක් නෑනේ. කොහොම හරි මේ දේ එක්ක දැන් ගොඩක් වෙඩින් වල කේක් කෑල්ල වෙනුවට වෙනත් ප්‍රයෝජනවත් දෙයක් දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා කියලා මම හිතනවා. ඇත්තටම සංස්කෘතිකමය වශයෙන් හානියක් වෙන්නේ නැති එකේ උත්සාහ කරලා බලන්න

Cup කේක්

වෙඩින් කේක් කෑල්ල වෙනුවට කප් කේක් කියලා එකක් ඉස්සරදීත් ආදේශ වීමක් නම් මෙතනින් වෙන්නේ නැහැ. අනිත් කාරණය තමයි කප් කේක් කිව්වයි කියලා හන්දියේ කඩේ තියන ඉස්පංචි දුන්නට හරියන්නේ නම් නැහැ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කප් කේක් එකක් වෙන්න ඕන. හොඳ අයිසින් තට්ටුවකුත් එක්ක අලුත හදපු කප් කේක් කෑල්ලක් බෙදනවා කියන්නේ කාගේත් සිත සතුටු වෙන වැඩක්. දැන් හිතන්න බටර් නම් එහෙමයි චොක්ලට් නම් මෙහෙමයි කියලා.  ඔයිට අමතරව විවිධ රසවලින් යුතු කප් කේක් තියනවා. වෙඩින් කේක් හදන අය ඒ ගැන හොඳට දන්නවා. ඒ වගේම කප් කේක් හදන අයත් ඉන්නවා. නිකන් කඩේකින් ගිහින් ගන්නවාට වඩා හෝම් බේකරි සිස්ටම් එකේ බිස්නස් එකක් කරන් ඉන්න කෙනෙක්ගෙන් ගන්නත් පුළුවන් නම් ඉතාම හොඳයි ඒක. වෙඩින් කේක් හදනවා වගේම හොඳ ලස්සන ආවරණයක් ඇතුළට දාලා පිළිගන්වන්න ඕන.

රස කැවිලි මල්ල

ගොඩක් දුරට විදේශ රටවල විවාහ මංගල උත්සවයන් වල අපිට මේ ක්‍රමය දකින්න පුළුවන් වෙනවා. කුඩා අලංකාර මල්ලකට ටොෆි චොකලට් වගේ දේවල් දමලා ලස්සනට ගැට ගහලා ආරාධිතයන්ට ලබා දීම සිදු කරනු ලබනවා. ඉතින් ලංකාවේ විවාහ මංගල උත්සව වලත් මේ වගේ දේවල් වලට පෙළෙඹෙන ආකාරය දැකගන්න පුළුවන්. ලොකු රසකැවිලි මල්ලක් දෙන්න බැරි වුණත් පුංචි රස කැවිලි මල්ලක් දෙන්න පුළුවන් ඔයාලගේ මංගල උත්සවයට එන ආරාධිතයින්ට. රස කැවිලි දෙනවා නම් ගමේ ගොඩේ විදියට රස කැවිලි දෙන්නේ නැතිව හොඳට හිතලා බලලා නොයෙක් වර්ගයේ රස කැවිලි දෙන්න ඔයාලා මතක තියාගන්න ඕනෑ.  පිටකොටුවේ වගේ ඇවිද්දා නම් ලාභෙට රස කැවිලි ඕන තරම් ගන්න තියනවා. ඒවා මේ වගේ අවස්ථාවක දෙන්න ඉතාම උචිතයි කියලා මම හිතනවා. නිතර ඇහැට ගැටෙන්නේ නැති දේවල් තමයි මෙහිදී දෙන්න ඕන. ඊලඟට අපි බලන්න ඕන මේ රසකැවිලි මොන වගේ උර වලටද බහාලන්න ඕන කියලා. නිකම්ම පොළිතීන් උරයක බහාලන්නේ නැතිව ලස්සන ඩිසයින් එකක් තියන පැකට් ටිකක් මුලින් හදාගන්න වෙනවා. 

පැළ

කෑමට ලැබෙන දෙයක් නම් නෙවෙයි ඊටත් වඩා වටින දෙයක් තමයි මේ. මේක ජීවිත කාලයටම පවතින මතක සටහනක් වෙන්නත් පුළුවන්. කැක්ටස්, බොන්සායි වගේ ඒවා ගෙන් පටන් අරගෙන සදුන් පැළ, පොල් පැළ දක්වා මේ පැළ කථාව දුවනවා. ඊට අමතරව ලංකාවේ තියන බේත් පැළයක් හෝ පළතුරු පැළයක් දෙන්න පුළුවනි. එහෙම වුණාම වෙඩිමට ආපු අයට වගේම නොආපු අයටත් සෙතක් වෙනවා. එක පවුලකට එක පැළයක් ගානේ දුන්නට සමහරවිට කෑම වලට වඩා වියදම අතින් වුණත් අඩුයි. හැබැයි ඉතින් ලබන සතුට මුදල් වලින් නිම කරන්න බැහැ. 

කේක් ජාර්

කළමණා විදියට ඉස්සෙල්ලාම එකම විදියේ ජෑම් බෝතල් වගේ ජාර් ටිකක් හොයාගන්න ඕන. අඩුම ගානට එකම තැනකින් මෙහෙම දේවල් ගන්නවා නම් ඉතින් පිටකොටුව තමයි උචිතම තැන. ඊට පස්සේ මේ හැම එකක්ම ආවරණය කරන්න බේබි රිබන් හා නෙට් අවශ්‍ය පමණට ගන්න වෙනවා. මේ කළමණා හදාගත්තට පස්සේ තමයි අන්තර්ගතය ගැන හිතන්නේ. සමහරු ලේයර්ස් කිහිපයක පුඩින් එකක් දානවා. තවත් අය ගැටෝ කේක් දානවා. මේවට ටිකක් මහන්සි වෙන්න ඕන. එත් හරියටම කරගන්වා නම් මෙය ඉතාම වටිනවා. 

සබන් 

සමහරුන්ට මේක දැක්කම හිනා යන්න පුළුවන්. නමුත් අද කාලේ වෙඩින් වල තියන අලුත්ම ප්‍රවණතාවයක් තමයි මේ සබන් දෙන එක. ඇත්තටම විහිළුවක් වෙන්නේ සබන් දෙනවා කියලා සන්ලයිට් කෑලි, බේබි සබන් පිටින් බෙදුවොත් තමයි. එහෙම නැතිව හෑන්ඩ් මේඩ් සබන් හදන අය ඉන්නවා. එයාලට කියලා තමන්ට අවශ්‍ය හැඩයෙන් කැමති පාටකින් තමන්ට අවශ්‍ය ආකාරයට සබන් හදවා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක ලස්සනට අසුරාගන්න තමයි ඕන. මේ සබන් කැටයක්ද කියලා නොතේරෙන තරමට ලස්සනට අසුරලා දෙන්න තමයි ඕන. 

ජෝර්දාන් ආමන්ඩ්

කොට්ටම්බා ඇට වගේ තියන ආමන්ඩ් ඇට ඔබ වෙළෙද පොළේ දැකලා ඇති.ඒවා ලස්සනට පැකිං කරලා දෙන්න ඒක ඇත්තටම කවුරුත් කරන්නේ නැති uncommon වැඩක්. හැබැයි ඒක හොඳට අසුරන්න දැනගන්න ඕන. අපි චොකලට් බෝල කනවානේ. එතනදී රටකජු චොකලට් බෝලයකින් ආවරණය වෙලා තියෙන්නේ. ඒ වගේම තමා මේ ආමන්ඩ් විශේෂය වෙනම කැන්ඩි තට්ටුවකින් ආවරණය වෙලයි තියෙන්නේ. අපිට හිතේ හැටියට පාට පාටින් හදාගන්න පුළුවන්. මේවා හරිම ලස්සනයි. ඒ වගේම ගොඩක්ම රසයි. ඔය දේ හැමෝටම කරන්නත් බැහැ. ලස්සනට පාට වැටෙන්න.මේවා මහා පරිමාණයෙන් ඕඩර් අරගෙන කරන අයත් ඉන්නවා. ජෝරදාන් ආමන්ඩ් සංකල්පය ඉතාලියේ ඉතාම ප්‍රචලිතයි. කලින් රසකැවිලි මල්ලට වගේම ආමන්ඩ් ඇට පහ හයක් දාලයි දෙන්නේ. ඒක සුබයි කියලා හැමෝම කියනවා. 

ඉතින් මෙන්න මේ විදියට අලුත් දේවල් සමාජගත කරන්න තරුණ ඔබ කටයුතු කරන්න. සාම්ප්‍රදායික දේවල් වලින් මිදිලා අලුත් දේවල් අත්හදා බලන්න හොඳම කාළය තමයි තමන්ගේ විවාහ මංගල උත්සවය පවත්වන කාළය. තමන්ගේ සහකරු හෝ සහකාරිය එක්ක එකතු වෙලා අලුත් දෙයක් කරන්න. එවිට ඔබගේ මංගල උත්සවය හැමෝගේම සිත් වල සුන්දර මතක සටහනක් වෙයි.

සැකසුම- බිමායා ජයතුංග

ඔයාගේ Wedding Business එක Promote කරගන්න නියම තැනක්


Spread the love